අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කැනඩාවේ වැන්කුවර්හි බ්‍රිටිෂ්  කොලොම්බියා විශ්වවිද්‍යාලයේ (University of British Columbia, Vancouver, Canada) බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහභාගීත්වය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ යටතේ මෙරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 හි අධ්‍යාපනඥයින්, කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන් මෙන් ම, ඉදිරියේ දී විද්‍යාපීඨ ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිපාලකයින් සහ පීඨ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහාය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා විය.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වැඩ බලන සභාපති මහාචාර්ය ගේග් ඇවරිල් (Prof.Gage Averill), ජාත්‍යන්තර සහ පාලක මණ්ඩලයේ සාමාජික මහාචාර්ය ඇනා කින්ඩ්ලර් (Prof. Anna Kindler), ජ්‍යෙෂ්ඨ උපදේශක, සහ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය ෆැන්ග් වැන්ග් (Dr. Fang Wang) මහතා ද අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.

Comments are closed.