උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඇති බැවින් පොසොන් පොහොයට ප්‍රථමව අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය ඇරඹීමට නොහැකි බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත පෙරේදා (23) නිල වශයෙන් දැනුම් දී තිබේ.

ගල්ගමුව, තලාව, තඹුත්තේගම දුම්රිය ස්ථාන ආශ්‍රිතව තවමත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පැවතීමත් ගල්ගමුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට යටින් විශේෂ අලිමංකඩක් අලුතෙන් ඉදිකිරීම හේතු කරගෙන පොසොන් පෝයට පෙරාතුව දුම්රිය ධාවනය යළි ඇරඹීමට නොහැකි බව ඇමැතිවරයා විසින් මෙම අවස්ථාවේදී හේමරතන නාහිමියන් වෙත පැහැදිලි කර ඇත.

පොසොන් පොහොයට ප්‍රථමව මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කලින් සැලසුම් කර තිබුණත් අමාත්‍යවරයා පෙරේදා (23) අමාත්‍යාංශ ලේකම්වරයා, මෙන්ම ව්‍යපෘති භාර විදේශ සමාගමවල පිරිසක් සමඟ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව අමාත්‍යවරයා මේ බව අටමස්ථානාධිපති නාහිමියන්ට දැනුම් දී තිබේ.

කෝටි තුන්දහසක් පමණ ඉන්දීය ණය ආධාර යටතේ දැනට මෙරට තුළ ක්‍රියාත්මක වන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන මෙය නිමවීමෙන් පසු කොළඹ සිට යාපනය දක්වා පැයට කිලෝමීටර සීයකට වැඩි වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි බවත් ඒ අනුව දැනට කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ගමන් වාරයකට ගතවන පැය හතහමාරක කාල සීමාව, පැය පහමාරක් දක්වා අඩු වීමට නියමිත බවත් ඇමැතිවරයා මෙහිදී තවදුරටත් පෙන්වා දී ඇත.

එමෙන්ම මහව සිට අනුරාධපුරය දක්වා නවීන දුම්රිය සංඥා පද්ධතියක් පිහිටුවීමට සැලසුම් කර තිබුණත් ඒ සඳහා වන නව ණය ගිවිසුමක් ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට නියමිතව තිබෙන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අටමස්ථානාධිපති නාහිමියන් වෙත දැනුම් දී තිබේ.

Share.

Comments are closed.