යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යාංශ ලේකම් කේ. ඩී .එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවු බවයි.

එහිදී ලැබී ඇත්තේ එක් අභිලාශ  යෝජනාවක් පමණක් බවද සඳහන් වේ.
මේ හේතුවෙන් යාපනය ගුවන්තොටුපොළ ඉන්දියාව සමග සංවර්ධනයට තීරණය කළ බව රුවන්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා යෝජනා සකස් කෙරෙනු ඇත. මේ අතර ලබන ජූලි මාසයේ සිට එයාර් ඉන්ඩිගෝ ගුවන් සමාගම, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට යාපනය ගුවන් තොටුපොළේ මෙහෙයුම් සිදුකරන්නේ එයාර් ලයින්ස් ගුවන් සමාගම පමණී.

එයාර් ලයින්ස් ගුවන් සමාගම දෛනිකව කොළඹ සහ චෙන්නායි අතර එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කරනු ලැබේ. නව ගුවන් සමාගම විසින් ද, කොළඹ හා චෙන්නායි අතර ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share.

Comments are closed.