දිවයිනෙන් වාර්ෂිකව නව වකුගඩු රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සඳහන් කලේය.

වකුගඩු රෝගියකුට රුපියල් 7500ක දීමනාවක් දැනට ලබාදෙන බවත් 19,247ක් ඉන් ප්‍රතිලාභ ලබන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ජීවත් වීමේ ආයු අපේක්ෂාව කාන්තාවකට අවුරුදු 80ක් සහ පිරිමියකුට අවුරුදු 76ක් වන බවට පසුගිය වසරේදී වාර්තා වූ බවත් කොවිඩ් හා ආර්ථික අර්බුදයත් සමඟ මාතෘ මරණ ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

ළදරු මරණ අනුපාතිකය ඉහළ ගොස් ඇතැයි ද දැන ගැනීමට පරීක්ෂණ පවත්වමින් තිබෙන බවත් ආර්ථික හා කොරෝනා නිසා මේ ගැටලු ඇති වූ අතර ඒ සඳහා විසඳුම් සොයන බවත් ඔහු පැවසීය.

සමස්ත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 25,000ක් දක්වා එක්ව ඇති බවත් වර්තමානයේදී සුවිශේෂ වැඩි වීමක් නොපෙන්වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.

Exit mobile version