ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව නාවික හමුදාව පවසයි.

යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේ නම් නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක 0117192142 හෝ 0117192250 යන අංකයන් වෙත තොරතුරු ලබාදෙන මෙන් නාවික හමුදාව ඉල්ලීමක් කලහ.

එසේම රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ධව මේ සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

Share.

Comments are closed.