මේ වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
අද (09) උදෑසන හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී මෙම විශේෂ ප්‍රකාශය සිදුකර ඇත.

මේ වන විට රටේ උද්ධමනය 1.5%ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 0.6% ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසරේ පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමෙරිකානු ඩොලරය රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී තිබෙන අතර විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කලේය. මේ තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවූයේ අභියෝගාත්මක, දුෂ්කර එහෙත් නිවැරදි මගක ගමන් කළ නිසා බව හෙතෙම අවධාරණය කර සිටියේය.

“අපායට වැටුණු රට ගොඩගන්න පුළුවන්” යන විශ්වාසය තමාට තිබූ නිසාවෙන් රට භාරගත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ණය ප්‍රතිකරණ වැඩපිළිවෙල මුලික අංශ තුනක් හරහා සිදුකළ බව පැවසු ජනාධිපතිවරයා පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වීම බව ද කියා සිටියේය.

එම කාර්ය 2023 වසරේ දී අවසන් කළ බව කී ජනාධිපතිවරයා සඳහන් කලේ විදෙස් රටවල් සමග ඇති කරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ලබාගන්නා ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම රටවල් සමග සාකච්ඡා කර මේ පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟත්වයකට 2023 නොවැම්බර් මාසය වනවිට පැමිණි බවයි. ඒ සඳහා පැරිස් සමාජය මෙන්ම එයට අයත් නොවන චීනය වැනි රටවල් සමග ද එකඟත්වයට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව දැනට සිදුකළ යුතුව ඇත්තේ ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පමණක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා වූ කෙටුම්පත් පිළිබඳ ශ්‍රී ලංකා රජය නිල ණයහිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය තෙවන අංශය බවත් ජනාධිපතියා කියා සිටියේය.

2032  වන විට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගැනීම තම අරමුණ බවද ඒ මහතා අවධාරණය කළේය.

Share.

Comments are closed.