බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කල නමුත් කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බව ජනාධිපතිවරයා පැවසීය.

නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ 100 වන සංවත්සර සැමරුමට එක්වෙමිනි.

1924 වර්ෂයේ මැයි මස 11 වන දින ආතර් වී දියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට සමගාමීව ඉදි කරන ලද මොරටුව බෞද්ධ මන්දිර ශාලාව සඳහා 1925 දී මුල් ගල තබන ලදී. එම ගොඩනැගිල්ල 1929 ජූනි මස 24 වන දින මොරටුව බෞද්ධයන්ගේ බෞද්ධ මුලස්ථානය ලෙස එවකට ලංකා ආණ්ඩුකාර හර්බට් ජේ. ස්ටැන්ලි මහතා අතින් විවෘත කෙරිණ. මොරටු මහා විද්‍යාලයට මුල් ගල තැබීමද එදින සිදු විය.

වසර සියයක් සපුරන මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අලුත්වැඩියා කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Share.

Comments are closed.