මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද වැඩිදුරටත්  ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී  සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි. 
මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ද එක්ව සිටියේය. ඉන් පසු ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්විය.

Share.

Comments are closed.