නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති රිමල් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වී බංග්ලාදේශය දෙසට ගමන් කර ඇතැයි වාර්තා වේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තවදුරටත් මෙරට මුහුදු කලාපයට ඉන් බලපෑම් එල්ල වන බවය. ඒ අනුව මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි ය. 

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව සඳහන් වේ.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.
එසේම බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකිය.

ගංඟා වල ජල මට්ටම් තරමක් පහළ යමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහෙත් කැලණි, කළු සහ නිල්වලා ගංඟා මෙන්ම අත්තනගලු ඔය ඇතැම් ප්‍රදේශ වලින් තවදුරටත් අවදානම් වන බව සඳහන්ය.

මේ අතර දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වේ.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වේ.
මේ අතර අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 1694 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 13 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කලේ, වර්ෂාවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176 ක පුද්ගලයින් 43,428 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය. වැසි සහිත අවස්ථාවලදි ගස් යට රැඳී සිටීමෙන් සහ ගස් යට වාහන නතර කිරීමෙන් වළකින ලෙසද ඔහු ජනතාවට දැනුම් දේ.

Share.

Comments are closed.