කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ අද (02) අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඒ අනුව අබුඩාබි නුවර සිට අද (02) දින අලුයම 03.25 ට ගොඩ බෑමට පැමිණි එතිහාඩ් ගුවන් සේවයේ E.Y.- 394 ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළේ සිට අද අලුයම 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 309 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඒ වනවිට හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේද වැසි තත්වය පැවති බව සදහන් කළ මත්තල ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා, එම ගුවන් යානා අද දින අලුයම 04.15 පමණ වනවිට තම ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ද සදහන් කළේය .

අබුඩාබි නුවර සිට පැමිණි එතිහාඩ් ගුවන් යානයේ මගීන්, ගුවන් යානයෙන් පිටතට නොබස්වා තිබූ අතර,මෙම ගුවන් යානය යළිත් අද උදෑසන 08.13 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත් සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සිටි මගීන් එම ගුවන් යානයෙන් පිටතට බස්සවා , අවශ්‍ය පහසුකම් එම මගීන්ට සළසා දීමෙන් අනතුරුව , එම ගුවන් යානය ද අද දින උදෑසන 10.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇතැයි වාර්තා වේ .

Share.

Comments are closed.