ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සැමරුම් උළෙල අමතමිනි.
මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවට ද එමඟින් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බව ද අවධාරණය කළේය.

ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ ආපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා ළගා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.

ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ පාලම් 750ක ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාක් ( Bonnie Horbach) මහත්මිය වෙත විශේෂ සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

Share.

Comments are closed.