සූර්යයාගෙන් නිකුත් වන බවට තාරකා විද්‍යඥයන් විසින් හඳුන්වනු ලබන විකිරණ හා ආරෝපිත අංශු ඇතුළත් ගිනිදැල් හේතුවෙන් ඇති වූ සූර්ය කුණාටුවක් පෙරේදා (10) පෘථිවිය මතුපිට වායුගෝලයට ළඟා වූ බව අමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

සූර්ය කුණාටු වර්ගීකරණය අනුව M9.7 ලෙස නම් කරනු ලැබූ එය වසර 2017න් පසු පෘථිවියට බලපෑ දෙවැනි විශාලතම සූර්ය කුණාටුව බව ද වායුගෝලීය කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

10 වැනිදා සිදුවන බවට මීට පෙර අනාවැකි පළ වී තිබූ එම සූර්ය කුණාටුවේ බලපෑම 11 වැනිදා දක්වා වරින් වර සිදුවනු ඇතැයි අමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබිණි.

පසුගිය 8 වැනිදා සූර්යයාගෙන් පිටවූ බව කියන එම සූර්ය කුණාටුවේ වැඩිම අවදානම ඇත්තේ ඉහළ වායුගෝලයේ තැන්පත් කර ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බවත් මීට අමතරව ගුවන් නියමුවන් භාවිත කරන අධි තරංග ඇතුළත් රේඩියෝ සන්නිවේදන පද්ධතියට, අභ්‍යවකාශ මෙහෙයුම් මෙන්ම ජීපීඑස් තාක්ෂණයට ද ඉන් බලපෑම් එල්ල විය හැකි බව එම මධ්‍යස්ථානය පෙරේදා අනතුරු ඇඟවීය.

අමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය කාලගුණ අනාවැකි මධ්‍යස්ථානයට අනුව එය සාමාන්‍ය මට්ටමේ G2 වර්ගයේ සූර්ය කුණාටුවක් වන අතර, එමඟින් ඉහළ වායුගෝලයේ සන්නිවේදන චන්ද්‍රිකා රැසකට හානි සිදු වී ඇතැයි වාර්තා වේ.

සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි ධ්‍රැවය ආසන්නයේ විහිදුණු බවත් එමඟින් රාත්‍රී කාලයේ ඇලස්කා, කැනඩාව සහ නිව්යෝක් වැනි රටවල් සහ නගරවල අලෝක වළල්ලක් පැතිරී ගිය බවත් අමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කළේය. මෑත කාලයේ ඇති වූ G4 මට්ටමේ අතිප්‍රබල සූර්ය කුණාටු කිහිපයක් හේතුවෙන් ප්‍රකෝටිපති ව්‍යාපාරික ඊලෝන් මස්ක්ට අයත් සන්නිවේදන චන්ද්‍රිකා 50කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ බව ද වාර්තා වේ.

Share.

Comments are closed.