මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් ඊට ඇහුම්කන් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කලේය. නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්තවාදී විය යුතු බවත් ඒවා ආධාර වැඩසටහනේ නියමිත කාල සීමාව තුළ අවසන් කළ හැකි විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කරන බවත් මීළඟ මැතිවරණයේදී බලයට පත් කරගන්නේ කවුරුන්ද යන්න ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු බවද පීටර් බෘවර් මහතා පැවැසුවේය.
කිසිදු හේතුවක් මත වර්තමානයේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව බෘවර් මහතා අවධාරණය කලේය. 1980 දශකයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වූ රජයේ ආදායම 2022 වනවිට සියයට 8 ක් දක්වා පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

බදු අඩුකිරීමෙන් ඇති වූ බලපෑම මේ වනවිට අත්විඳීමට තිබෙන බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයටද එය එක් හේතුවක්වූ බව පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය. මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා රජයේ ආදායම ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් මෙරට ලබාදී ආධාර වැඩසටහන යටතේ රජයේ ආදායම ඉහළ දැමීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

නැගී එන වෙළඳපොළක් ඇති සහ මැදි අදායම් ලබන රටවල රජයන්හි ආදායම සාමාන්‍යයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 26% ක් වුවත් එම කාල සීමාව තුළදී මෙරට රජයේ අදායම 9.3 % ක් බව පීටර් බෘවර් මහතා පැවැසුවේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුමට බලපෑමක් එල්ල විය හැකි බවත් විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සහ ආධාර වැඩසටහනේ කාල සීමාව පිළිබඳ ගැටළු ඇතිවීමට ඉඩ තිබෙන බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියලුම නිල ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව එක සමාන අයුරින් සැලකිය යුතු වුවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ කාරණයක් නොවන බවද ඔහු පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා තිබෙනවාද නැද්ද යන්න බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබෙන බවත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව චීනය සහ නිල ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

Share.

Comments are closed.