ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව 2022 වසරේ 20-20 ආසියානු කුසලානය ජයගත් අතර 2023 වසරේ එක්දින ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයටද තේරී පත් විය.

මේ අතර මෙරටදී සහ විදෙස් රටවලදී පැවති එක්දින ටෙස්ට් සහ 20-20 තරගාවලි රැසක ජයග්‍රහණය සඳහාද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දායකත්වය ලබාදුන්නේය.

“ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වීම යනු ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ අය සමඟ සහ දැඩි හදවතකින් දීර්ඝ සංවාදවලින් පසු, මට නැවත නිවසට පැමිණ හොඳ කාලයක් එකට ගත කිරීමට කාලය පැමිණ ඇති බව මට හැඟේ, ”යැයි ද සිල්වර්වුඩ් මහතා ප්‍රකාශ කර ඇත.

ක්‍රිස් සිල්වර්වුඩ් තම ඉල්ලා අස්වීම සටහන් කරමින් යොමුකළ ලිපියේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට, සෙසු නිළධාරීන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වයට ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කලේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයෙකු වීමට ලැබීම මට සැබෑ ගෞරවයක් වන බවද සිල්වර්වුඩ් වැඩිදුරටත් පවසා තිබේ.

Share.

Comments are closed.