හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය මගින් වරදකරු විය.
ඇයට බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) තීන්දු කළේය.

2015 දෙසැම්බර් 21 වැනිදා හෝ ඊට ආසන්න දිනෙක දෙමටගොඩ රෙදිපිළි වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයා රැකවලුන් යොදවා පැහැරගෙන ගොස් අතින් පහරදී තුවාල කිරීම හා එයට අනුබල දීමේ චෝදනාව යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව 2016 වසරේ ජූලි 25 වැනිදා අධි චෝදනා 24ක් යටතේ නඩු පැවරීම සිදු කර තිබුණි.

එහිදී විත්තිකරුවන් කිහිප දෙනෙකු මීට පෙර වරද පිළිගෙන තිබුණි. ඒ අනුව හිරුණිකාගේ රැකවලුන් ඔවුන්ට එරෙහිව නඟා තිබුණු චෝදනාවන්ට 2017 වසරේ නොවැම්බර් 06 වැනිදා වරද පිළිගන්නා ලදි. ඔවුන් මුල් අවස්ථාවේම වරද පිළිගැනීම නිසා වසර 12ක අත්හිටුවූ සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පැහැර ගැනීමට ලක්වූ තරුණයාට රුපියල් 285,000ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කළේය.

මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකරු කෙරුණු අතර ඇයට බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණ රාජා මහතා නියෝග කළේය.

Share.

Comments are closed.