කොටස් වෙළඳපොළ ආයෝජයනය පිළිබඳ  6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) වැනිදා පාර්ලිමේන්තුවේදී  රැස්වූ අතර මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානීහු එදින එම කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටියහ. කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී කාරක සභාවේ අවධානය යොමුවිය.

කොටස් වෙළඳපොළ ආයෝජනයන් හා ක්‍රියාකාරීව සම්බන්ධවන ආයෝජකයන් සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව ඊට සහභාගිවූ නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී නිලධාරීන් වෙත කාරක සභාවේ සභාපතිවරයා කියා සිටියේ රටේ දළ ජාතික නිෂ්පාදනයට වැඩි බලපෑමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායෙන් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලැබෙන ආකාරයෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම ඉතා වැදගත් බවයි.

Share.

Comments are closed.