ශ්‍රී ලංකාවේ ඖෂධ වල උපරිම සිල්ලර මිල තීරණය කරන අති විශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව පසුගියදා (ජූනි 28) නිකුත් කෙරිණි.

මීට පෙර ඖෂධ 60ක මිල නියාමනය සිදු කළ අතර ඊට අදාළ ක්‍රමවේදය මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බවත් ඖෂධ ආනයනකරුවන්ගේ ඉල්ලීමකට අනුව මෙම ගැසට් කිරීම සිදු කළ බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමසිංහ මහතා පැවසීය. මෙම අවස්ථාවේ ඖෂධවල අලුතින් මිල නියාමනයක් සිදු නොකරන බවත් මීට පෙර සිදු කළ මිල නියාමනයට අදාළව ගැසට් කළ මෙම ක්‍රමවේදයට අනුව ඉදිරි කාලයේ මිල නියාමනය කිරීම් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඖෂධවල මිල නියාමනය කළ ක්‍රමවේදය ඖෂධ ආනයනකරුවන්ට ද දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණ මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බව ද හෙතෙම පැවසීය.

යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ මිල නීර්ණය කිරීමේ ක්‍රමවේදයක් සඳහාත් විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණ සහිතව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවට අදාළව මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදයත් ස්ථාපනය කිරීම මෙම ගැසට් නිවේදනය මඟින් සිදු කරයි.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 118 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය අනුව එකී පනතේ 142 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇත. මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ඉදිරි කාලය තුළදී වෙළෙඳපොළෙහි අලෙවි කරන ඇතැම් ඖෂධවල උපරිම සිල්ලර මිල නිර්ණය කිරීම සිදු වනු ඇත.

Share.

Comments are closed.