ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍ය Wang Lingjung මහතා ප්‍රකාශ කර ඇත. චීන උප අමාත්‍යවරයා සහ මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගා කරන තේ, පොල්, අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන වැඩිදුරටත් චීන වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර ඇත.

ලංකාවේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පළතුරු මිලදී ගැනීමට චීන රජය ඉදිරි කාලයේ කටයුතු කරන බව ද චීන උප අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2023 දී මහජන චීනයට ශ්‍රී ලංකා‍ව විසින් අපනයනය කරන ලද සමස්ත කෘෂිකාර්මික අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 3.3ක් බව අවධාරණය කළේය. එමෙන්ම චීන රජය විසින් මෙරටින් මිලදී ගන්නා ලද තේ වල වටිනාකම 2.5%කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කර තිබේ.

Share.

Comments are closed.