චයිනා මර්චන්ට් පෝට් සමාගම කොළඹ වාරය පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

කොළඹ වාරයේ ජැටිය හෝ බහාලුම් අංගනය වැඩිදියුණු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගියදා දැනුම් දීමෙන් අනතුරුව චයිනා මර්චන්ට් පෝට් සමාගම මෙම තීරණයට එළඹී තිබිණි. කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ පාලන බලතල හිමිවී තිබෙන්නේද චයිනා මර්චන්ට් පෝට් සමාගමටය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ආයෝජනයකින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලබාදුන්නේය. එම තීරණය නිල කැබිනට් වෙබ් අඩවියේද පළවූ අතර තිබෙන උපකරණ වැඩි දියුණු සහ නවීකරණය කරන අතරතුර කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය නව උපකරණ හඳුන්වා දීමටද කටයුතු කරනු ඇතැයි එහි සඳහන් විය. එසේම කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා නව ඉදිකිරීම්ද සිදුවනු ඇතැයි එහි දැක්විණි.

පර්යන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණ විය. එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මෙම ව්‍යාපෘතිය සඳහා බදු සහනයක්ද ලබා දුන්නේය. ව්‍යපෘතිය නිවේදනය කළ 2020 ගැසට් පත්‍රයට නව වගන්තියක් එක් කරමින් මෙම වසරේ මැයි මාසයේදී තවත් ගැසට් පත්‍රයක් නිකුත් වූ අතර ව්‍යාපෘති සමාගම 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තුළ යෝජිත ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් හෝ ඊට සමාන මුදලක් ආයෝජනය කළ යුතු බවට එහි දැක්විණි.

Share.

Comments are closed.