රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය යළිත් අවධාරණය කර තිබේ.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ  ඒ හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

අදාළ ආලේපන භාවිතයෙන් මරණ වාර්තා වීමේ හැකියාවක් පවතින බව ද ඔහු අනතුරු ඇඟවීය. එබැවින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ජනප්‍රිය නිරූපිකා පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද රූපලාවන්‍ය ක්‍රීම් සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතාබහක් නිර්මාණ වී තිබේ.
මේ අතර පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර තිබුණේ, පියුමි හංසමාලි විසින් අලෙවි කරන ආලේපන ලියාපදිංචි කර නොමැති බවයි.

ඩේලි මිරර් පුවත්පත් වාර්තාවක සඳහන් වුනේ මෙරට තුළ දැනට රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති බවයි.
ඒ හේතුවෙන් එය ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාධාවක් බව ද එහි සඳහන් වේ.

මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
සම පැහැපත් කිරීමේ ක්‍රීම්වලට අදාළ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී තිබේ.

පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීම තමන් දිරිමත් කරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේ, ලියාපදිංචි වී නොමැති නිෂ්පාදන විශේෂයෙන් සම පැහැපත් කිරීමේ ක්‍රීම් භාවිත කිරීමෙන් වළකින ලෙසයි. සම පැහැපත් කරන ක්‍රීම් භාවිතය හා සම්බන්ධ වකුගඩු රෝග රෝගීන්ගේ සැළකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් එය පිළිකා රෝග පවා අභිබවා යෑමක් බවත් විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කර සිටියහ.

Share.

Comments are closed.