ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරගාවලි අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රි චිත්‍රපට නැරඹීම ඇතුළු ක‍්‍රියාවන්හි යෙදීම තහනම් කර තිබේ.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හඳුන්වා දී ඇති නව නීති හා මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගෙන ඇත.

මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය හා ක්‍රිකට් විනය වෘත්තීය භාවය රැක ගැනීම වෙනුවෙනි. එහිදී ක්‍රීඩක ඇඳුම් පැළඳුම් ගමන් බිමන් හා සමාජ මාධ්‍ය භාවිතය ගැන දැඩි අවධානය යොමු කර තිබේ.

කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ඡායාරූප ගැනීමේදී කමිසය කලිසම හා බ්ලේසරය පැළඳීම අනිවාර්ය කර ඇත.
තරග වලදී කාසියේ වාසිය, ජාතික ගීය, සම්මාන පිරිනැමීම සහ මාධ්‍ය සාකච්ඡා වැනි අවස්ථාව වෙනුවෙන් ක්‍රීඩා ඇඳුම පැළඳීම අනිවාර්ය කර ඇති අතර සෙරෙප්පු සහ කොට කලිසම් ඇඳීම තහනම් කිරීමටද කටයුතු යොදා තිබේ.

ක්‍රිකට් ආයතනයේ අවසරයක් නැතුව ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සමාජ මාධ්‍ය වෙත අදහස් ලබාදීමද තහනම් කර ඇතැයි වාර්තා වේ.

පුහුණුවීම් කරන අවස්ථාවේදී ජංගම දුරකථන භාවිතය ද තහනම් කර ඇති අතර සංචාරයන් අතරවාරයේදී ක්‍රීඩක කළමනාකරුවන් හමුවීම හා ඔවුන් කණ්ඩායම් රැස්වීම් සඳහා සම්බන්ධ කරගැනීමට ද සීමා පනවා ඇත.

Share.

Comments are closed.