ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත. ඒ ජූලි 24 වනදා සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බවයි.

මෙය දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් බවත් ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

එම සංසිද්ධිය දුරේක්ෂයක් හෝ දුරදක්නයක් ආධාරයෙන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිය. එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදු වේ.

චන්ද්‍රයා, සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතින අතර එම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකි වීමද විශේෂත්වයකි.

නැවත වරක් මෙවැනි සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වනදා බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසා සිටියි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවලට එම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වන බව දැක්වේ.

Share.

Comments are closed.