සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ‍කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතු බවත් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවති එම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.

ඩිජිටල් යටිතල පහසුකම් (Digital Public infrastructure – DPI) ලංකාවේ රාජ්‍ය අංශය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවූ අස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් (Presentation) සිදු කරමින් කාරක සභාව දැනුවත් කිරීමක් සිදු කරන ලැබූ අතර මෙම සාකච්ඡාව සඳහා තාක්ෂණ අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් ද, ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන් ද කැඳවා තිබේ.

ලෝකයේ අනෙක් රටවල් සහ විශේෂයෙන් ම ආසියානු කලාපයේ ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම පහසුකම ක්‍රියාත්මක කර තිබෙන අතර, පාකිස්තානයේ මේ වන විට එය ක්‍රියාත්මක කරමින් සිටින නමුත්, ලංකාවේ මෙම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව හෙළිවිය. එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, රටේ සෑම පුරවැසියෙකුට ම නිශ්චිත හඳුනා ගැනීමේ අංකයක් ලැබෙන අතර, ග්‍රාම නිලධාරීවරයෙකුගේ පටන් රජයේ අමාත්‍යාංශයක් දක්වා වූ සියලු ම රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේ පහසුකමක් මෙමගින් ලැබෙනු ඇත. ඒ ඒ රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව ද නිසි කාර්යක්ෂමතාවයෙන් යුතුව සිදු කිරීමට මෙම පහසුකම මගින් ඉඩ සැලසෙන බව ද කාරක සභාවේ දී කියැවිණ.

දැනටමත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන තමන්ට අනන්‍ය වූ ඩිජිටල් පද්ධතීන් ක්‍රියාත්මක කළ ද, සාමූහික ක්‍රියාදාමයක් සිදු නොවන බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ මින් පෙර මතු වූ කරුණු මත දශකයකට අධික කාලයක් ප්‍රමාද වී තිබෙන ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සඳහා ක්‍රියාත්මක වන ආයතන තුන විධිමත් ආදායම් එකතු කිරීමේ ක්‍රියාදාමයකට යොමු කිරීම සඳහා සියලු ම ගෙවීම් කටයුතු හා ගනුදෙනු සඳහා ඉලෙක්ට්‍රොනික වේදිකාවක් ඇති කිරීමේ අවශ්‍යතාව මෙහිදී නැවතත් අවධාරණය කෙරිණි.

එසේම ආනයනය කෙරෙන ආහාර, ඉන්ධන සහ ඖෂධ, පොහොර වැනි දෑ විනිවිද පෙනෙන සුලු ආකාරයෙන් සිදු කිරීම සඳහා ඩිජිටල් ප්‍රසම්පාදන හුවමාරු වේදිකාවක අවශ්‍යතාව මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් තාක්ෂණික අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා මහා බැංකුව ඊ-රුපියල හරහා මුදල් ගනුදෙනු ඩිජිටල්කරණය සිදු කිරීම, ඒකීය ගෙවීම් අතුරුමුහුණතක් (Unified Payment Interface) නිර්මාණය කිරීම ශ්‍රී ලංකා රේගුවෙන් සිදු වන ආනයන සම්බන්ධ වැරදි ඉන්වොයිස්කරණය වැළැක්වීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් පිළිබඳ සියලු විස්තර පාරිභෝගිකයන් වෙත දැක බලාගත හැකි ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම යනාදී කටයුතු පිළිබඳව කාරක සභාව මින් පෙර සාකච්ඡා කර නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබිණ.

රාජ්‍ය ඉංජිනේරු සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 9 දෙනෙකුට විශ්‍රාම යන විට ලැබෙන තීරු බදු සහන සහිත වාහන බලපත්‍ර අයිතිය නොලැබීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම කාරක සභාවේ දෙවැනි සැසියේ දී සිදු විය. මේ සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරින් සහ අගතියට පත් ඉංජිනේරු සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නියෝජනය කරන පාර්ශවය කාරක සභාව වෙත කැඳවා තිබිණ.

2017 වසරේ දී පැමිණි නියෝගයක් ප්‍රකාරව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කරන ලද අතර, අවුරුදු 5 න් 5ට ලැබෙන එම වාහන බලපත්‍ර අයිතිය 2023 වසරේදී අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම නිසා අහිමි වී යාම මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට යොමු වූ කරුණ විය. විශේෂයෙන් ඉංජිනේරු සේවයේ 9 දෙනෙකුට මෙම අසාධාරණය සිදු වූ බව ඔවුන්ගේ පාර්ශවයෙන් කියැවිණ. වෘත්තීයවේදීන් සියලු ම දෙනාට එක හා සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අවධාරණය කළ සභාපතිවරයා, විශ්‍රාම ගැන්වීම සමග හිමි වන තීරු බදු සහන සහිත වාහන බලපත්‍ර අයිතිය සම්බන්ධ නිශ්චිත කොන්දේසි ලිඛිතව කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරින් වෙත උපදෙස් දුන්නේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා කමිටු සාමාජිකයන් වන අශෝක් අබේසිංහ, වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ද එක්ව සිටියහ.

Share.

Comments are closed.