පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අය-වැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2023 වසරේ ජනවාරි 01 සිට මැයි මස 31 වැනිදා දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අය-වැය පරතරයක් පැවැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම වසරේ එම කාලය තුළ අය-වැය පරතරය රුපියල් බිලියන 366ක් (කෝටි 36,600) ලෙස අඩු වී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

රට නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් මෙම ඉලක්කයට ළඟාවීමට හැකි වූ බව හෙතෙම අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලයලත් ආර්ථික මෙහෙයුම්කරුවන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙමඟින් මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන 31ක් සඳහා සහතික හිමිවන අතර ඔවුන්ගේ ආනයන සහ අපනයන කටයුතු රේගු පරීක්ෂණවලින් බැහැරව සිදු කිරීමට ඔවුන්ට අවස්ථාව උදා වෙයි.

වසර ගණනාවක් ඔවුන්ගේ ආනයනය සහ අපනයනය පිළිබඳ සිදු කළ අධීක්ෂණයකින් පසුව අදාළ සමාගම් වෙත මෙම සහතිකය ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ශ්‍රී ලංකා රේගුව සෑම අවස්ථාවකදීම රජය මඟින් ලබාදෙන ආදායම් ඉලක්ක සපුරාලමින් රටේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 2024 වසරේදී ලබාදී ඇති රුපියල් බිලියන 1537ක ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 708ක ආදායමක් සම්පූර්ණ කිරීමට ඔවුන් මේ වන විටත් සමත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම ඉලක්ක කරා සාර්ථකව ළඟා වෙන්නේ රේගුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන රථ වාහන ආනයනය අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ වීම විශේෂත්වයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය කළ 2018 වසරේදී රුපියල් බිලියන 923ක් වූ සමස්ත ආදායමෙන් බිලියන 204ක් හෙවත් 22%ක් රථ වාහන ආනයනයෙන් ලබාගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. 2019 වසරේ සමස්ත ආදායමෙන් 16%ක් හෙවත් රුපියල් බිලියන 130ක් රථ වාහන ආනයනයෙන් ලබාගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.