ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කෙරෙන ප්‍රකාශනයක් තම ආචාර්ය උපාධි නිබන්ධන යෝජනාවලියට ඇතුළත් කළ බවට චෝදනා කරමින් දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධි අපේක්ෂකයකු හට ඊට හේතු දක්වන ලෙසටත් ඔහුගේ අධීක්ෂකවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික ආචාර්ය සසංක පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පියවර ගෙන ඇතැයි “ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත්පත උපුටා දක්වමින් “ද වයර්” වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

පසුගිය නොවැම්බරයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු කාශ්මීරයේ ජනවාර්ගික විද්‍යාව සහ දේශපාලනය පිළිබඳ ආචාර්ය උපාධි යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා එම ශිෂ්‍යයා ඇමෙරිකානු වාග් විද්‍යාඥ නෝම් චොම්ස්කි සමඟ කරන ලද සාකච්ඡාවකින් උපුටා ගත් නරේන්ද්‍ර මෝදි රජය විවේචනය කරන අදහස් ද ඇතුළත් කර ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත. විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපතිවරයා වෙත යැවීමට පෙර ඔහුගේ අධීක්ෂකවරයා විසින් එම නිබන්ධන යෝජනාවලිය අනුමත කර ඇතැයි ද පුවත්පත පවසයි.

නරේන්ද්‍ර මෝදි රැඩිකල් හින්දු සම්ප්‍රදායකින් පැවත එන්නකු බවද, ඔහු ඉන්දියානු ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට උත්සාහ කරන අතර, හින්දු තාක්ෂණාධිපත්‍ය පැනවීමට උත්සාහ කරන බවටත් නෝම් චොම්ස්කි ප්‍රකාශ කර ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

එම පර්යේෂණ මාතෘකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ආචාර්ය උපාධි අපේක්ෂකයා සහ ඔහුගේ අධීක්ෂක ආචාර්ය සසංක පෙරේරාගෙන් විශ්වවිද්‍යාලය කරුණු විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් සමාව අයැද ඇතැයි ද, එම අදහස් දැක්වෙන වීඩියෝව ඉවත් කර ඇතැයි ද වාර්තා වේ.

විශ්වවිද්‍යාලය අධීක්ෂකවරයාගේ භූමිකාව සහ පර්යේෂණ යෝජනාව පිටුපස ඇති අරමුණ විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇති අතර එම කමිටුව පිහිටුවීමෙන් පසු, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආරම්භක සාමාජිකයකු වන ආචාර්ය සසංක පෙරේරා ඉල්ලා අස් වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුදු ආචාර්ය උපාධි නිබන්ධනයක් පිළිබඳ සිදුවීමක් මත ආචාර්යවරයකු ඉල්ලා අස් නොවූ බවය.

Share.

Comments are closed.