අරුණ දර්ශනට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි.
එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කලේය.

එම තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන්නේ, ටෝකියෝ නුවර දීයි. ඊට සුදුසුකම් ලැබීමේ කාලයක වන්නේ තත්ත්පර 44.85 කි.

අරුණ දර්ශන විසින් මෙම කඩඉම පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව තරගයේ තත්ත්පර 44.75ක කාලයක් වාර්තා කරමින් පසු කල අතර කෙසේ වෙතත් ඔහු මංතීරු නීතිය කඩකිරීමක් හේතුවෙන් එම කාලය අවලංගු කෙරුණ බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ, අරුණ දර්ශනට තරණය කළයුතු මෙම කඩඉම සම්පූර්ණ කරගැනීම සඳහා ඉදිරි වැඩපිළිවෙළක් සකසන බවයි. ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට නම් ඔහුගේ ප්‍රසාද ලකුණ ලබා ගත යුතුයි.

එසේ නොමැති නම් එම කඩඉම් කාලය වාර්තා කිරීමෙන් එම අවස්ථාව ලබා ගත යුතු බව සභාපතිවරයා සඳහන් කළේය. ඒ සඳහා ඔහු විදේශ තරගවලට සහභාගී වි යුතු බව ද ඔහු පෙන්වා දුනි.

ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අරුණ දර්ශනට ජාත්‍යන්තර තරගාවලි අටකට සහභාගී වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දුන් බව ද පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.
ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් දක්‍ෂතා දැක්වූ ඔහුට මෙරව ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවශ්‍ය සහාය ලබා දෙනු ඇති බවට විශ්වාස කෙරේ.

Share.

Comments are closed.