යුරෝපා සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංගමයේ නිලධාරීන් විශාල පිරිසක් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

දේශීය මැතිවරණ නිරීක්ෂකයන් විශාල පිරිසක් ද ඒ සඳහා ඉල්ලීම් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර ඊට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියේය.

සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායම් පත්කර ඇති බවත්, මැතිවරණ සමයේ සිදුවිය හැකි වංචා වැළැක්වීමට පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සමග කොමිසම සාකච්ඡා කරන බවත් ඔහු එහිදී අනාවරණ කර ඇත.

පළාත් නවයෙහි නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ සියළුම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

එම සාකච්ඡාව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා විසින් සංවිධානය කර තිබූ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 6,50292ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.