ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාරදෙනු ලැබූ බැවින් මැතිවරණය සඳහා ඔහුගේ ලකුණ දුරකතනයයි. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා ඉදිරිපත් කළ අතර ඔහුගේ ඡන්ද ලකුණ වන්නේ මාලිමාවයි.

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාරදුන් අතර ඔහු ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින්නේ පොහොට්ටුව ලකුණින්ය.

සර්වජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණයේ සලකුණ වනුයේ තරුවයි. බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ලකුණ වන්නේ පක්ෂ සලකුණ වන ට්‍රැක්ටරයයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට සිය ඡන්ද ලකුණ ලෙස හිමිව ඇත්තේ ලන්තෑරුමය. මීට අමතරව විජයදාස රාජපක්ෂ මහතාට කාර් රථයත්, රොෂාන් රණසිංහ මහතාට ක්‍රිකට් පිත්තත් ජනක රත්නායක මහතාට කෝප්පයත්, සරත් මනමේන්ද්‍ර මහතාට ඔහුගේ පක්ෂයේ සලකුණ වන දුන්න සහ ඊතලයත්, නුවන් බෝපගේ මහතාට කුඩයත් සලකුණු ලෙස හිමිව ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණු ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධ කිරීමට ඊයේ වන විට මුද්‍රණාලයට යොමු කර තිබුණු බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

Share.

Comments are closed.