එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලය කල යෝජනාව ප්‍රතික්ෂේප කළ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා සඳහන් කරයි.

ඔහු‌ මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ‘ද හින්දු’ පුවත් පතට අදහස් ප්‍රකාශ කරමිනි. 2024 වසරේ මෙම තරගාවලිය බංල්ගලාදේශයේ දී පැවැත්වීමට සැලැසුම් කර ඇත.

කෙසේ වෙතත් එරට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ විරෝධතා හේතුවෙන් මේ වනවිට අදාළ සැලැසුම වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

ඇතැම් රටවල බංගලාදේශයේ සංචාරය නොකරන ලෙසට සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබීමද මෙම තත්ත්වයට බලපා තිබේ. මෙවන් පසුබිමක ICC විසින් ඉන්දීයාවේ අදාළ තරගාවලිය පැවැත්වීම සම්බවන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසීමක් සිදු කර ඇත.

ඊට පිළිතුරු ලබාදෙමින් ජේ ෂා ප්‍රකාශ කර ඇත්තේ, ලබන වසරේ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය සැපයීමට නියමිත පසුබිමක මෙය පැවැත්විය නොහැකි බවයි.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රමුඛත්වය දෙමින් දේශීය ක්‍රිකට් මණ්ඩලය සමඟ බංග්ලාදේශයේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ද ICC මෙම සතිය මුල සඳහන් කර ඇත.

මේ අතර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වෙනත් සත්කාරකත්වයක් තෝරාගන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

Share.

Comments are closed.