17 වැනි සෙනසුරාදා දහවල් 1.00ට ආරම්භ කෙරුනු සමීක්ෂණය කාලරාමු 5ක් යටතේ සිදු කෙරුණු අතර අද (19) දහවල් 1.00 දක්වා පැවැත්විණි. මුළු ලංකාවම ආවරණය වන පරිදි දින තුනක් පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී මෙම සමීක්ෂණය සිදු විය.

සමීක්ෂණයේ දත්ත රැස්කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සිදුකළ අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන්, විශ්ව විද්‍යාල , සිවිල් ආරක්ෂක හා ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුලු පිරිස් සහභාගී කරගනු ලැබිණි.

හදුනාගත් ස්තානවල ගස් මත හා ආරක්ෂිත ස්ථාන වල ඉතා සූක්ෂම අයුරින් රැදී සිටිමින් දහවල් හා රාත්‍රී කාලයෙ දින 3ක් ආවරණය වන පරිදි කාලසීමාවන් 5ක් යටතේ දත්ත රැස් කීරීම සිදු කර තිබේ.

මෙම සංගණනය තුළින් , ලබා ගන්නා දත්ත මත මෙරට වන අලි ගහනයේ ඉදිරි පැවැත්ම පුරෝකථනය කිරීම, අලි මිනිස් ගැටුම් මැඩලීම සඳහා උපාය මාර්ගික සැලසුම් පිළියෙල කිරීම යනාදී පියවරයන් ගැනීමට ඉදිරියේදී විශාල සැලසුමක් සකස් කිරීමට නියමිත ඇති බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

විශාල පිරිවැයක් දරමින් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සිට දෙපාර්තමේන්තුවේ සිටින පහළම තනතුරෙහි නිළධාරියා දක්වා සියළුම නිළධාරින්ගේ කැපවීම හා ජිවිත අවදානම දරමින් මෙම සමික්ෂණය සිදු කර ඇත.

වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් 2011 වර්ෂයේදී සිදුකරන ලද වන අලි සමික්ෂණයෙන් අනතුරුව වසර 13කට පසුව දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් මෙලෙස සිදු කරන ලදි.

මෙම වන අලි සමික්ෂණය මෙරට සිටින වන අලි සංඛ්‍යාව ගණනය කීරිමේ මුලික අරමුණින් සිදුකරනු ලබන සංගණනයක් නොවන අතර වනගතව වාසය කරන මෙම දැවැන්තයන් ප්‍රමාණය 100% නිවැරැදිව සංගණනය කිරීමද ප්‍රායෝගිකව සිදුකල හැකි කාර්යයක් නොවන බව සඳහන් වේ. මෙම සමීක්ෂණය මගින් මෙරට වන අලි වැඩිපුරම හැසිරෙන ප්‍රදේශයන් හි වන අලි ගහණයේ වර්ධනය , මෙන්ම වැඩිහිටි ,කුඩා,තරුණ සතුන් ප්‍රමාණය හදුනා ගැනීමටත්,දළ ඇතුන් ප්‍රමාණය හදුනා ගැනීම ,ගැහැණු පිරිමි සතුන් ප්‍රමාණය හදුනා ගැනීම , සතුන් හැසිරෙන ප්‍රදේශ අනුව රක්ෂිත ඇතුලත හෝ පිටත ලෙස හදුනා ගැනීම ආදී මුලික කරුණු හා අවශේෂ කරුණු හදුනාගෙන එම දත්ත මගින් වනජීවී සංරක්ෂණ ක්‍රමෝපායන් තීරණය කිරිමටත්, මෙරට අලි ගහණයේ ප්‍රමාණය අනුමානය කිරීමටත් , සිදුකරන මෙම සමීක්ෂණය කිසිම ලෙසකින් හෝ වන අලි සංගණනයක් ලෙස වැරැදි ලෙස අර්ථකථන සිදු නොකල යුතු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම සංගණනය බස්නාහිර වනජීවී කලාපය හැර ඉතිරි වනජීවි කලාප 12 ආවරණය කරමින් සිදුකරන සිදු කර ඇත.

ගත වු කාලය තුළ බාධාවකින් තොරව වන අලි සංගණනය කිරීමට හැකියාව ලැබුුුනු අතර ඇතැම් ප්‍රදේශවල පැවති වැසි තත්ත්වය බාධාවක් නොවු බව වනජීවි දෙපාර්තුමේතුව දන්වා සිටියි. මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සැලකිය යුතු අලි ගහනයක් වාර්තා වෙමින් පවතින බවත් සියලු වාර්තා අධ්‍යයනයකින් පසු වැඩිදුර වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට හැකි බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේතුව වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.