බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් එරට රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විරෝධතාවක නිරත වීමේ චෝදනාවට සිරදඬුවම් නියම වූ බංග්ලාදේශ ජාතිකයන් 57 දෙනා නිදහස් කිරීමට එරට ජනාධිපති ශේක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු ඔවුන් නැවත බංග්ලාදේශයට පිටුවහල් කිරීමට නියමිත බව එමීර් රාජ්‍ය ජනාධිපතිවරයාගේ උපදේශක ප්‍රකාශ කර ඇත.
බංග්ලාදේශ රජයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වීදි රැසක පැවැති එම විරෝධතා අතරතුරදී එමිරේට්ස් පොලිසිය විසින් බංග්ලාදේශ ජාතිකයන් 57 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ එමීර් රාජ්‍යය තුළ විරෝධතා සහ උද්ඝෝෂණ තහනම් වීම හේතුවෙනි. එය එරට අපරාධ නීතිය යටතේ දඬුවම් නියම වන වරදකි.

අධිකරණයට ඉදිරිපත් කළ එම විරෝධතාකරුවන් අතුරින් තිදෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර, එක් පුද්ගලයකුට වසර 11ක් සහ තවත් 53 දෙනකුට වසර 10 බැගින් ද සිරදඬුවම් නියම වී තිබිණි.

Share.

Comments are closed.