මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත් විය.
එය මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ප්‍රකාශ කළේය.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534 කි.
කෙසේ වෙතත් මේ වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේදීය. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975 කි.

සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මතය.

කෙසේ වෙතත් එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා අවධාරණය කලේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇත.

එය පසුගිය මාසයට වඩා සියයට 5.3ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සඳහන් කළේය.
මෙරට ඇති විදේශ විනිමය සංචිතය අගෝස්තු මාසය තුළදී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා ඉහළ ගොස් ඇති එය පසුගිය මාසයට සාපේක්ෂව සියයට 6ක වර්ධනයකි.

ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.4කට සමාන චීනයෙන් ලද විදේශ හුවමාරු පහසුකම් ලැබීම් ද ඇතුළත් වේ. එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.