I.C.C.ය විසින් ගෙවුණු අගෝස්තු මාසය සඳහා තෝරාගන්නා මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම යෝජනා වී ඇති බවට වාර්තා වේ.

දුනිත් වෙල්ලාලගේ ඉන්දියාව සමග පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් ලබාගැනීමට සමත් වූ අතර, එහිදී දුනිත් විසින් තරග තුනක් තුළ ලකුණු 108ක් සහ කඩුලු 7ක් දවාගැනීමට සමත්විය.

තරගාවලියේ පළමු තරගයේ දී ඔහු නොදැවුණු ලකුණු 67ක් ද සමග කඩුලු 2ක් සහ දෙවැනි තරගයේ දී ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූයේය.

තෙවැනි තරගයේ දී ඔහුට පිත්තෙන් එතරම් දස්කම් දැක් වීමට නොහැකි වූ නමුත්, තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ එහි දී ලකුණු 27 තුළ කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

නිමා වූ කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ හර්ෂිතා, ඉන් පසුව ගෙවුණු මාසයේ දී අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ද පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූවාය.

අයර්ලන්තය සමග පැවැත්වුණු විස්සයි-20 තරගාවලියේ දී නොදැවී ලකුණු 86ක් සහ 65ක් ලබා ගැනීමට සමත් වූ හර්ෂිතා, එතැනින් ද නොනැවතී එක්දින තරගාවලියේ දී පිළිවෙලින් ලකුණු 19ක්, 105ක් සහ නොදැවී ලකුණු 48ක් ලබා ගැනීමට සමත් විය.

Share.

Comments are closed.