රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ, දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථානවලට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සංවර්ධනය කිරීම සඳහා කැමැත්ත දක්වන ආයෝජකයින් හඳුනාගැනීමට අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයෙ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල සහ ගල්කිස්ස යන දුම්රිය ස්ථාන සංවර්ධනය කිරිමට කැමැත්ත දක්වන ආයෝජකයින් හඳුනාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති බව සඳහන් වේ.

එහි දී මෙරට විවිධ ස්ථානයන්හි පිහිටා ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් වී ඇති බැවින්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ආකාරයට ඇල්ල දුම්රිය ස්ථානය අසල ඉඩම් කොටස දිගුකාලීන බදු පදනම යටතේ ලක්සල ආයතනයට ලබා දී ඇති බවත්, ඉන් රජයේ තක්සේරු කරු මඟින් නියම ක‍ර ඇති පරිදි බිම් කුලිය මෙන්ම එම ආයතනයෙන් ලැබෙන අදායමෙන් 5% ක් ද වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායමක් ලැබෙන බවටත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ දිවයිනේ අනෙකුත් දුම්රිය ස්ථාන ද සංවර්ධනය කිරීම සඳහා තරඟකාරී පදනමින් යෝජනා කැඳවා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව‍ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.