ඡන්ද විමසීම අවසන් කිරිමෙන් පසු ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ඡන්ද පෙට්ටියම කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදෙන්නේද යන්න පිළිබඳව ඇතැම් දේශපාලඥයින් සහ අපේක්ෂකයින් සැක සහිත බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී ඇත.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපස පැමිණීමේ හැකියාව අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සදහා පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.

එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය.

ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,500යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Share.

Comments are closed.