ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මඟ තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවද, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණය කළාය.

ඒ බව ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බව ද ඇය පැවසුවාය. ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වන බව ද ඒ මහත්මිය පැවසුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (12) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීය. එහි දී ඇය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළාය.

පසුගිය ජූනි 12 වැනි දින අපගේ විධායක මණ්ඩලය විසින් 2024 අංක IV වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට අ‍මරිකානු ඩොලර් මිලියන 336 ක පමණ මූල්‍යාධාරයක් නිදහස් කර තිබෙනවා. වැඩසටහනේ කාර්යසාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙනවා. ආර්ථිකය වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා. උද්ධමනය පහළ යමින් තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත් තවමත් සැලකිය යුතු මට්ටමේ අවදානමක් පවතිනවා. එම නිසා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.”

Share.

Comments are closed.