විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර අවසන් ය.

දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 251 කට ආසන්න බව සඳහන් වේ.
ඒ අනුව මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්විය හැකි බව Informa Connect Academy වාර්තාවක සඳහන් කෙරේ. ඊට අනුව මස්ක් මේ වාර්තාවට ළඟා වන්නේ 2027 වසරේ දීයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මස්ක්ගේ ශුද්ධ වටිනාකම වසරකට 110% ක සාමාන්‍ය අනුපාතයකින් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවයි.

ඒත් සමඟම 2028 වසරේදී බිහි වීමට නියමිත ට්‍රිලියනපතියෙකු ගැනත් Informa හෙළිදරව් කර තිබේ. ඒ අසල්වැසි ඉන්දියාවේ ප්‍රකෝටිපති ගෞතම් අදානිය.

තාක්ෂණික සමාගමක් වන Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang සහ ඉන්දුනීසියානු බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ Prajogo Pangestu ද ඔවුන්ගේ ගමන් පථය මේ ආකාරයෙන් ම පැවතියහොත් 2028 දී ට්‍රිලියනපතියන් බවට පත්විය හැකි බව සඳහන් වේ.

එමෙන්ම Meta හි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ද 2030 දී ඩොලර් ට්‍රිලියනයක් ග්‍රහණය කිරීමට නියමිත බවත් එම වාර්තාවේ දැක් වේ.

Share.

Comments are closed.