මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් හිමිව ඇති බව ඔහු සඳහන් කලේය. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු අද (18) දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් රථ 1500ක් පමණ මේ වන විට ඉල්ලුම් කර තිබේ.

වැඩිම බස් රථ ප්‍රමාණයක් ජාතික ජන බලවේගය විසින් ලබා ගෙන ඇති බව සභාපතිවරයා පැවසීය.
මේ අතර මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා තිබේ.

ලබන 20 වැනිදා 50% බස් රථ ධාවනයක් රට පුරා සිදුවන බව වැඩිදුරටත් ඔහු කියා සිටියේය.
මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස් රථ ධාවනය සඳහා එක් කරන බව සඳහන් වේ.

දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවනු ඇතැයි සභාපතිවරයා කියා සිටියේය.

Share.

Comments are closed.