අද පස්වරු 4.00 න් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් විය. ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 8.00 ත් 9.00 ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කලේය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා කියා සිටියේ දිවයිනේ සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බවයි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 712,318 ක් බවද සඳහන් කළ සමන් ශ්‍රී රත්නායක මහතා, ඉන් 6,200ක් හැර අනෙක් සියලු දෙනා නිකුත් කළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කර තිබූ බව පැවසුවේය.

දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429ක තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවෙන බවත්, එම කටයුතු ප.ව. 4. 00 න් පසුව ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

Share.

Comments are closed.