ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ, ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුවිය.
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් යන මහත්වරුන් ගිවිසුමට අත්සන් කළේ ය.

මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කිරීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

මෙම දෙවසරක වැඩසටහන දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇතිවන බලපෑම් අවම කරමින්, සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කිරීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක වේ.

Share.

Comments are closed.

Exit mobile version