නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි.

එම අරමුදලේ විධායක මණ්ඩලය ගාස්තු සහ අධිභාර ප්‍රතිපත්ති සමාලෝචනය අවසන් කර තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද ආන්දෝලනාත්මක අධිභාරවලට මුහුණදෙන දැඩි ලෙස ණයගැති රටවල් 22 ලැයිස්තුවට ශ්‍රී ලංකාව පසුගිය වසරේ එක් කෙරුණු බව ද එම අරමුදල කියා තිබේ.

තවදුරටත් මට්ටම් පදනම් කරගත් අධිභාරවලට යටත් නොවන රටවල් අට අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාන්‍ය සම්පත් ගිණුමින් දැනට ණය ගන්නා සාමාජික රටවල් 52න් 19ක් අධිභාරවලට යටත් වන බව ද ප්‍රතිසංස්කරණය 2024 නොවැම්බර් 1 වැනි දින සිට බලාත්මක වූ පසු, අධිභාර ගෙවන රටවල් සංඛ්‍යාව 19 සිට 11 දක්වා පහත වැටෙනු ඇති බව ද කියා සිටී.

එහිදී රටවල් අටක් අධිභාරවලට යටත් නොවනු ඇති අතර ඔවුන්ගේ ණය හිඟය නව සීමාවට පැමිණ ඇත. බෙනින්, කෝට් ඩි. අයිවෝර්, ගැබොන්, ජෝර්ජියා, මෝල්ඩෝවා, සෙනගල්, ශ්‍රී ලංකාව සහ සුරිනාම් යන රටවල් ඊට අයත් වෙයි. අධිභාර යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදෙන හිඟ ණය නිශ්චිත කාල පාදක සහ/හෝ මට්ටම් පදනම් වූ සීමාවන් ඉක්මවා යන රටවලට ණය සඳහා IMF විසින් අය කරන ගාස්තු බව පෙන්වා දෙන එම අරමුදල මෙම අතිරේක ගෙවීම් ඉලක්ක කර ඇත්තේ IMF හි ප්‍රධාන ගිණුමට හිඟ ණය ඔවුන්ගේ කෝටාවෙන් සියයට 187.5 ඉක්මවන රටවල් සඳහා බව ද පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, නවතම ප්‍රතිසංස්කරණ සමඟින්, මෙම සීමාව සාමාජික කෝටාවෙන් සියයට 300 දක්වා ඉහළ නංවනු ඇත. මේ අතර ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා අඛණ්ඩව සහාය දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය ප්‍රකාශ කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව සඳහන් කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version