මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කිරීම සඳහා අද (18) උදෑසන පැවැති සාකච්ඡාවකදී යෝජනා විය. එම යෝජනාවට බහුතර කැමැත්ත පලකර ඇති බව මල් පාර කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර පසුගිය දිනවල එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ටිරාන් අලස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, රුවන් විජේවර්ඩන, තලතා අතුකෝරල හා ශර්මිලා පෙරේරාගේ නම් යෝජනා විණි. එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරපු පිරිසක් මෙම යෝජනාවට විරෝධය ප්‍රකාශ කල අතර මෙම ජාතික ලැයිස් මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලකයන්ට දෙන ලෙස යෝජනා වී ඇත.

මෙම පිරිස නායකත්වය සමඟ කණස්සල්ලෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඉදිරි දේශපාලන ගමන ආරක්ෂා කරගැනීම වෙනුවට වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සහ දැරීම තුළ තවදුරටත් එජාපය මෙන්ම සිලින්ඩරයද දේශපාලන සුසානයට යාමක් මිස යළි ගොඩ ඒමක් නම් නොමැති බවට දැන් ඔවුනොවුන් අතර සංවාදයට ලක්වෙමින් ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version