ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඊයේ (19) දා අභාවප්‍රාප්ත විය. කලක් අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මහතා මිය යනවිට 76 වැනි වියෙහි පසුවිණි.

මජුවන කංකානමගේ වික්ටර් අයිවන් නම් ඔහු උපන්නේ 1949 ජුනි 26 වැනිදාය. පසු කලෙක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් මහතා 1971අරගලයට සම්බන්ධ වූ අයෙකි. එහිදී ඔහු හඳුන්වනු ලැබුවේ පොඩි අතුල නමිනි.

1971 නැගිටීම පිළිබඳ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව වෙත මුහුණ දුන්නේ 7 වැනි විත්තිකරු ලෙසයි. එහිදී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පෙනී සිටි ඔහුට වසර 5ක සිර දඬුවමක් නියම විය. සිරගතව සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම මාක්ස්වාදයද අත්හැරියේය. ඉන්පසු ඔහු අවිහිංසාවාදයේ දර්ශනය අනුගමනය කරමින් ගාන්ධිවාදියෙකු වූ බව පැවසේ.

පසුකාලීනව ඔහු විසින් කතෘත්වය දරමින් සර්වෝදය ආයතනයේ මුල්‍ය අනුග්‍රහය මත රාවය සඟරාව ආරම්භ කළේය. අනතුරුව එය කුඩා ප්‍රමාණයේ කළු සුදු සති අන්ත පුවත් පතක් බවට පත් විය. වික්ටර් අයිවන් මහතා පුවත් පත් කර්තෘවරයෙකු, දේශපාලන විචාරකයෙකු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත පුද්ගලයෙකු ලෙසත් ගත් කතුවරයෙකු ලෙසද කැපී පෙනෙන මෙහෙයක් ඉටු කල මාධ්‍යවේදියෙකි.

Share.

Comments are closed.

Exit mobile version