ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව එම සමාගමේ ලේකම්වරිය විසින් දැනුම් දී තිබේ.

2025 ජනවාරි 15 දින සිට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සංශෝධනය බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර 2025 ජනවාරි 15 දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය පසුගිය වසරේ නොවැම්බර් 01 දින ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා වෙත පිරිනමනු ලැබීය.

මීට පෙර ඒ මහතා ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කළේය.

ඩයලොග් සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා කීර්තිමත් සේවා කාලයක් සටහන් කළ කාලය, ඩයලොග් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ කාල පරිච්ඡේදයකි. එම කාලය තුළ ක්ෂේත්‍රයට පිවිසි හතරවැනි සමාගම ලෙසින් මෙරට මොබයිල් ක්ෂේත්‍රයට සිය සම්ප්‍රාප්තිය සටහන් කිරිමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම විදුලි සංදේශ සන්නිවේදන සේවා සම්පාදකයා බවට පත් වීමට ඩයලොග් වෙත හැකිවිණි.

එම කාලය ඇතුළත ආසියාවේ ප්‍රමුඛතම Quad Play හා ඩිජිටල් සේවාවන් සපයන සමාගමක් බවට පත්වීමටද ඩයලොග් වෙත හැකියාව ලැබුණු අතර, මූල්‍ය තාක්ෂණ සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය අංශ ආදී ක්ෂේත්‍රයන්හිද සමාගම සිය ස්ථාවරත්වය තහවුරු කරගනු ලැබිණි. GSM Asia Pacific, හි හිටපු සභාපතිවරයකුද වන ආචාර්ය හාන්ස් විජයසූරියගේ සේවා කාලය අතරතුර එනම්, 2016 වසරේදී GSMA විසින්, Asia Mobile Awards සම්මාන උළෙලේ ඉහළම සම්මානයට ඔහු පාත්‍ර කරන ලදී. ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් ‘ආසියානු මොබයිල් ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය’ උදෙසා එම සම්මානය හිමි විය. මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව, විසින් 2008 වසරේ දී “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙසින් නම් කරනු ලැබු‍වේද, ඩයලොග් හා ආසිආටා හි මෙම කීර්තිමත් වෘත්තිකයා ය.

Share.

Comments are closed.

Exit mobile version