සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා හෙද කාර්ය මණ්ඩලයන් අතර පවතින බරපතළ වැටුප් හා දීමනා විෂමතාවය සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ග අරඹන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ මෙම ගැටළුව සාකච්ඡා මාර්ගය විසඳා ගැනීමට උපරිම උත්සාහ දරන බවය.
එසේ විසඳා ගැනීමට නොහැකි වුවහොත් වැඩ වර්ජන යනු තම සංගමයට නුපුරුදු දේවල් නොවන බවත් හෙතෙම කියා සිටියේය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ දිනය රැස්වී තීරණය කර ඇත්තේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ගැඹුරු හා තාක්ෂණික අධ්‍යයනයක් සඳහා අද දිනයේදී විශේෂඥ කමිටුව රැස් කිරීමටයි.
අනතුරුව සිකුරාදා දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම තීන්දුව ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් සිකුරාදා කැඳවා තිබේ.