මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් මත නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය.
අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළව තිබෙන්නේ 2021 වසරේදී කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් යැයි ඔහු සඳහන් කළේ ය.
නව වැඩපිළිවෙල ගැන විස්තරාත්මකව කිව නොහැකි නමුත් නීතිපතිවරයා සමග අඛණ්ඩව කෙරෙන සාකච්ඡා මගින් ඊට අදාළ පියවර ගනිමින් සිටින්නේ යැයි අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
ඔහු එහිදී මෙසේ ද ප්‍රකාශ කළේ ය.
“2021 වසරේ ඉදිරිපත් කළ ඉල්ලීමක් තමයි ඔය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ ලියුම මෑතකදී තමා මාධ්‍යයට නිකුත් කරලා තිබුණේ. නමුත් අපි නීතිපතිවරයා සමග ඒ ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඔහු ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙල අලුත් විදිහකින් ක්‍රියාත්මක කරන්න වෙනවා. මෙහිදී නීතිමය පියවර කිහිපයක් ගන්න තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ගන්න නීතිපතිවරයා කටයුතු කරගෙන යනවා.”
2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකරනු ලැබ ඇති පැමිණිල්ලක සැකකරුවෙකු වශයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම්කර ඇති අතර පසුගිය පෙබරවාරි මස 25 වන දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 2024 නොවැම්බර් 26 වන දා නියෝග කළේ ය.
සිංගප්පූරු පුරවැසියෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කළ නොහැකි බව එරට බලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළ කළේ ඉන් අනතුරුව වේ.