නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එතුමියගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

අධ්‍යාපන හා උසස් අධාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 05ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසු සභාපතිනිය, ඒ අනුව, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධන කුළුණු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට මේ වන විටත් කටයතු යොදා තිබෙන බව වැඩිදුරටත් පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනුකමිටු 6ක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය, පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුලත් කර ගැනීම, අධ්‍යාපන සභාව පිහිටුවීම, උසස් අධ්‍යාපන අංශය, නිපුණතා අධ්‍යාපන අංශය වශයෙන් උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 6ක් ස්ථාපිත කිරීමට නියමිතය.

එසේම ජාතික හා පළාත් මට්ටමේ මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි. ඒ අනුව, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගරු මන්ත්‍රීවරුන් යොමු කරනු ලැබූ ගැටළුවලට පිළිතුරු දෙමින්, පාසල් අතර විෂමතා අවම කිරීම, පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය සඳහා පාසල් භෞතික පරීක්ෂාවට ලක් කිරීම, දැනට අත්හිටුවා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ පාසල්වල අනාරක්ෂිත පරිශ්‍ර ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට මෙවර අයවැයෙන් අධ්‍යාපන සඳහා වෙන් වූ මුල්‍යමය ප්‍රතිපාදන ප්‍රමුඛ කොට යොදවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.

Share.

Comments are closed.

Exit mobile version