එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර 2ක්ද අවලංගු කිරීමට සිදුව තිබේ.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා සිටියේ, අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවය.
බලපෑමට ලක් වූ මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළෙහි ඇති වී තිබෙන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
තවද හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
“වැඩිදුර සහාය ලබාගැනීම සඳහා කරුණාකර 1979 (ශ්‍රී ලංකාව තුළ), +94117 77 1979 (ජාත්‍යන්තර) හෝ +94744 44 1979 (WhatsApp chat) ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවා පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හෝ ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ සංචාරක නියෝජිතයා අමතන ලෙස ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධයෙන් ඔබට සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර ඔබගේ ඉවසීම සහ අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් අපගේ අවංක ස්තූතිය පලකර සිටින්නෙමු” යනුවෙනි.