ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවල නව මාවතක් සනිටුහන් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවකට විශේෂී වාසි රැසක් අත් කර දී ඇත.
බලශක්ති, ඩිජිටල්, ආරක්ෂක, සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට ප්‍රදානයන් සහ ආධාර ලබාදීම සම්බන්ධයෙන් මෙම සංචාරය අතරතුරදී ගිවිසුම් රැසකට එළැඹීම සිදු විය.
මේ සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබිණි. විදුලිබලය ආනයන,අපනයනය කිරීමට අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර් සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහත්වරුන් අතර මෙහිදී හුවමාරු කර ගනු ලැබිණි.
ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහත්වරු විසින් හුවමාරු කර ගන්නා ලදි.
ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා, ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගත්හ.
ඖෂධ සංග්‍රහ සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
නැඟෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගන්නා ලදි. ඉන්දීය කෙඩිට් ලයින් යටතේ ක්‍රියාත්මක වූ මහව ඕමන්ත දුම්රිය මාර්ගයේ අනුරාධපුර- මහව දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ද ඉන්දියාවෙන් මෙරටට හිමි වූ ව්‍යාපෘතියක් වන අතර ඊයේ (06) එය විවෘත කිරීම ද සිදු කෙරිණි.
මීට අමතරව ඩොලර් මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි විය.
ශ්‍රී ලංකාව පුරා ආගමික ස්ථාන 5000ක වහල මත සවි කරන සූර්ය විදුලිබල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ඇරඹීම, දඹුල්ලේ ඉදිකළ උෂ්ණත්ව පාලිත ගබඩා සංකීර්ණය විවෘත කිරීම, මෙගා වොට් 120ක සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සමාරම්භ කිරීම අගමැති, ජනපති දෙපොළගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සිදු කෙරිණි. ත්‍රිකුණාමලයේ තිරුකෝනේෂ්වරම් කෝවිල, අනුරාධපුර පූජා නගර ව්‍යාපෘතිය සහ නුවරඑළිය සීතාඑළිය කෝවිල් සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහාය ලබාදීමට ද ඉන්දීය අගැමතිවරයාගේ එකඟතාව පළ කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මෙරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටියේය.
ලක් රජය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරුන් රැසක් ද, ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහත්වරු ඇතුළු ඉන්දියානු දූත පිරිස මෙම අවස්ථාවට සහභාගි වූහ.