කම්කරු ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පුදා සටන් කළ කම්කරුවන් පැය අටේ වැඩමුරය ජය ගත් ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

කම්කරුවන්ගේ දාඩිය, ලෙයින් බිහි වූ මෙදින වැඩ කරන ජනතාවගේ මැයි දිනය ලෙස ද සලකනු ලබයි. මෙවර මැයි දිනය සමරනු ලබන්නේ 139 වැනි වරටය.

අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා ක්‍රියාත්මක කළ අරගලය ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හඳුන්වන අතර මේ සඳහා කම්කරුවන් 40,000ක් පමණ එක්ව සිට ඇත. එම සටන මර්දනය කිරීමට පොලීසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවෝ 130ක් තුවාල ලැබූහ. වැඩවර්ජනයට එක් වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්විය.

මැයි 1 වැනිදා කම්කරු දිනය ලෙස සහ මැයි දිනය ලෙස ජාත්‍යන්තර වශයෙන් සැමරීමට මේ සටන අතිශය බලපෑවේය.

මැයි දිනය සමරමින් රට පුරා ස්ථාන 15කදී ප්‍රධාන රැලි 12ක්, පෙළපාළි 9ක්, පුෂ්පෝපහාර දැක්වීම් 3ක් හා රැස්වීම් 3ක් පැවැත්වේ.

සමගි ජන බලවේගය සංවිධාන කරන මැයි රැලිය තලවකැලේදී පැවැත්වෙන අතර අනෙකුත් රැලි, පෙළපාළි, රැස්වීම්, පුෂ්පෝපහාර දැක්වීම් හා රැස්වීම් කොළඹ හා ඒ අවට පැවැත්වේ.

මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී අද (01) සවස 3.00ට පැවැත්වේ.

සමගි ජන බලවේගය සංවිධාන කරන මැයි රැලිය තලවකැලේ නගරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 2.00ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පස්වරු 2.00 ට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය සවස 3ට කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි නායක කුමාර් ගුණරත්නම්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර පස්වරු 1ට කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ සිට ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය දක්වා මැයි පෙළපාළිය පැවැත්වේ.

ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සමාජවාදී ජනතා පෙරමුණ ලෙස පවත්වන මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී සවස 3.00 ට ඇරඹේ. මැයි පෙළපාලිය සවස 2.00ට කොම්පඤ්ඤවීදිය ඩී. මැල් පිටිය අසලින් ආරම්භ වේ.

සමසමාජ පක්ෂයේ මැයි රැලිය විහාරමහාදේවී උද්‍යානයේදී සවස 2.00 ට පැවැත්වෙන අතර දෙවැනි පරපුර සංවිධාන කරන මැයි රැලිය පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී එහි නායක උවිදු විජේවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ ජන්ම දින සැමරුම පෙ.ව. 11ට පිටකොටුව ඒ මහතාගේ පිළිරුව අබියසදී පැවැත්වෙන අතර හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ගුණ සැමරුම උදේ 8.30ට කෙසෙල්වත්ත ඒ මහතාගේ පිළිරුව අබියසදී පැවැත්වෙයි.

Share.

Comments are closed.

Exit mobile version